දේශීය වෙදකම රැකගනිමු – ඉසිවර සරණ ලබා ගනිමු

0
55

ඔවුහු විස්මයජනක වෙදැදුරෝ ය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කීපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නො හැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නො වේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි සොයා ගත නො හැකි වන තරමට ම කැළැල් සුව කරති. මා මෙම දිවයිනේ සිටි කාලය තුළ දී හමුදා සොල්දාදුවන්, කපිතාන්වරුන් ඔවුන්ගේ ප‍්‍රතිකර්මවලින් සුවය ලබනු මා දැක ඇත. වඩාත් විස්මයජනක වන්නේ ඔවුන් එය එතරම් ම සැහැල්ලූවෙන් කරන අන්දම ය.” (“Fat alidade Historia de Ceilao”, ජොආ රිබෙයිරෝ, 1641-1658 කාලය තුළ ලංකාවේ සේවය කළ පෘතුගීසි සොල්දාදුවෙක්)

මේ ප‍්‍රකාශය අප රට එවකට තිබූ හෙළ වෙදකම පිළිබඳව බටහිර පෘතුගාල වැසියකු විසින් කරන ලද ග‍්‍රන්ථයකින් උපුටා ගත් කෙටි විස්තරයකි.

අප රට වෙදකමේ ඉතිහාසය අන් කිසිදු රටකට සම කළ නො හැකි තරම් ය. ලෝකයේ ප‍්‍රථම අංග සම්පූර්ණ රෝහල වන මිහින්තලේ රෝහල, ව්‍යුහයෙන් වත්මන් නවීන රෝහලකට සමාන ය. බාහිර ප‍්‍රතිකාර අංගනයක්, රෝගීන් සඳහා තනි කාමර මෙන් ම බෙහෙත් ද්‍රව්‍ය සකස් කරන ස්ථාන ද ගබඩා ද රෝහලට අඩංගු විය. බෙහෙත් ඔරු සහ ශල්‍ය උපකරණ පෙන්වන්නේ එවකට පවා දේශීය වෙදකම ලබා තිබු දියුණුවයි. මහාවංශයට අනුව ව්‍යවහාර වර්ෂ පූර්ව 4 වන සියවසෙහි රජ කළ පණ්ඩුකාභය රජතුමා රටේ විවිධ ස්ථානවල රෝගීන්ට නවාතැන් ගෙන ප‍්‍රතිකාර ලබා ගත හැකි ‘සිවිකසොත්ති ශාලා’ ඇති කළේ ය.

මහා වාරිමාර්ග, වෙහෙර විහාර සැදීමට ශ‍්‍රමයෙන් දායක වූ පොදු ජනතාවගේ සෞඛ්‍යය රජයේ වගකීමක් වශයෙන් සලකන ලදි. එ් අනුව මෙම රෝහල් ජාතිය, ආගම, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේද නො සලකා සැමට ම සමාන ලෙස ප‍්‍රතිකාර ලබා ගත හැකි පොදු ස්ථාන විය. මිහින්තලේ, අනුරාධපුරය, මැදිරිගිරිය, දීඝවාපී, දොඹේගොඩ, ආලාහන පිරිවෙන සංකීිර්ණය මෙබඳු රෝහල් පිහිටි බවට දැනට හඳුනාගත් ස්ථාන ය.
හෙළ වෙදකම පෝෂණය වූයේ බූදු දහමත් සමග ම ය. ගිලානෝපස්ථානය යනු තමාට කරන උපස්ථානයක් හා සම කොට සලකන ලෙස බූදුරජාණන් වහන්සේ වදාළහ. වෙදකම සේවයක් මිස රැකියාවක් ලෙස සැලකීමට අද පවා හෙළ වෙද මහතුන් අකැමැති වන්නේ මෙලෙස බුදු දහමෙන් ලද ශික්ෂණය හේතු කොට ගෙන ය.

මෙම ශික්ෂණය හෙළ වෙදකම ආරම්භයේ සිට ම අපට දක්නට පුළුවන. රජුන් විසින් වෙදැදුරන් ආරක්ෂා කොට පෝෂණය කිරීමට පෙළඹුණේ රටවැසියා සුඛිත මුදිත කිරීම රජු විසින් ආරෝපණය කරගන්නා ලද වගකීමක් වූ හෙයිනි. මෙරටට බුදුදහම ගෙන එ්මට පුරෝගාමී වූ ධර්මාශෝක අධිරාජයාගේ ගිරිනාර් සෙල් ලිපියේ (ව්‍යවහාර වර්ෂ පූර්ව 3වන සියවස) සඳහන් වන්නේ ඔහු විසින් මිනිසුන්ට මෙන් ම සතුන්ට ද ප‍්‍රතිකාර සඳහා මධ්‍යස්ථාන තම්බපණ්නිය (එවකට ලංකාව හැඳින්වු නම) දක්වා ඇති කළ බවයි.

රටවැසියන් සුඛිත මුදිත කිරීමේ වගකීම් පෞද්ගලිකව ම තම අතට ගත් බුද්ධදාස රජු (ව්‍යවහාර වර්ෂ 4වන සියවස) මෙරට ප‍්‍රසිද්ධ වෛද්‍ය රජ කෙනෙකි. රජතුමා ශාරීරික, ශල්‍ය, ප‍්‍රසව විද්‍යා මෙන් ම සත්ව වෙදකමෙහි ද කෙළ පැමිණියෙක් විය. බුද්ධදාස රජතුමා සාමාන්‍ය චාරිකාවක දී වුව ද ශල්‍ය උපකරණ සහ ප‍්‍රමාණවත් ඖෂධ රැුගෙන ගිය බව කියැවේ. එවන් චාරිකාවක දී එතුමා, චණ්ඩාල කාන්තාවකට දරු ප‍්‍රසූතිය සඳහා ශල්‍යකර්මයක් කළ බව වංශ කථාවල සඳහන් ය. තවත් අවස්ථාවක දී ගෙඩියක් සෑදී ඔත්පලව සිටි නයෙකුගේ ගෙඩිය ශල්‍යකර්මයකින් ඉවත් කොට සුවපත් කළ බව සඳහන් ය. මෙම අවස්ථා දෙකෙන් පෙනී යන්නේ වෛද්‍ය කර්මයේ දී කුලය හෝ තිරිසන් බව නිසා වෙනසක් කිරීමට රජු පවා කටයුතු නො කළ බව ය.

ආයුර්වේදය උපත ලද ඉන්දියාවේ කුල ක‍්‍රමය ඉතා දැඩි වන අතර පහත් කුලවල අය ‘ස්පර්ශ පවා නො කළයුතු’ (untouchable)  ජන කොට්ඨාශයක් ලෙස හඳුන්වනු ලබයි. එසේ හෙයින් වෛද්‍ය කර්මයේ දී පවා කුලයෙන් පහත් අයට සාධාරණයක් සිදු වූයේ නැත. එහෙත් බුදු දහමින් පෝෂණය ලද මෙරට වෛද්‍ය කර්මය සියලූ සත්වයින් නිදුක් බවට පත් කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම ම ඉලක්ක කරගත් බවට කිසිදු සැකයක් නැත.

‘සාරාර්ථ සංග‍්‍රහය’ නමැති සංස්කෘත කෘතිය බුද්ධදාස රජතුමා විසින් රචිත වෛද්‍ය ග‍්‍රන්ථයකි. මෙම කෘතිය සඳහා ඉන්දීය ආයුර්වේද ග‍්‍රන්ථවල උපකාරය ලැබී තිබුණ ද මෙරටට පමණක් ආවේණික වෛද්‍ය ක‍්‍රම ද එයට ඇතුළත් ය. එහි අන්තර්ගතය විචිත‍්‍ර ය. ඖෂධ සැකසීම, රෝග නිශ්චය කිරීම, ශල්‍ය උපකරණ සහ ශල්‍ය ක‍්‍රම, ඇස් කන් නාසා ආබාධ, ඇස් රෝග, ක්ෂය රෝගය, උන්මාදය, අපස්මාරය, දරු ප‍්‍රසූතිය වැනි අති විශාල විෂය සම්භාරයක් මෙයින් ආවරණය වේ.

හෙළ වෙදකම යනු ආයුර්වේදය නො වේ. බුදු දහම මෙරටට පැමිණෙත් ම දඹදිව සංස්කෘතියේ බොහෝ අංගත් සමග ආයුර්වේද වෙදකම ද පැමිණි බව පැහැදිලි ය. එහෙත් මෙරට වෛද්‍යවරුන් විසින් තමාට ම අනන්‍ය වූ ක‍්‍රමවේදයන් ගොඩනගා ගනු ලබන්නේ බුදු දහමේ ආභාසයෙනි. වෙදකම පමණක් නොව කරුණාව, මෛත‍්‍රිය වැනි ගුණධර්ම එ් සඳහා පුරුදු පුහුණු කළ යුතු බව ඔවුහු දැන සිටියහ.

විහාර මහා දේවිය තම කුස ගැමුණු කුමරා පිළිසිඳ ගැනීමට පෙර එ් අරමුණු කොට ගෙන භික්ෂූන් අරබයා ආහාර සහ ඖෂධ දානයක් දුන් බව මහාවංශය සඳහන් කරයි. එමෙන් ම දුටුගැමුණූ රජතුමා ද රෝගීන් සඳහා ආහාර සහ ඖෂධ ලබා දුන් බව කියැවේ. අද දින ද බොහෝ උවසු උවැසියන් තම සෞඛ්‍යය සඳහා ඖෂධ දානයන්, ඖෂධ පූජාවන් කරනු දක්නට ලැබෙන්නේ මෙම ආභාසයෙන් විය යුතු ය. වෙදකම යනු ශාරීරීක ප‍්‍රතිකර්ම ලබා දීම පමණක් නොව යහපත් ජීවන රටාවක් ඇති කරගැනීම ද ඊට ඇතුළත් බව හෙළ වෙදකම පිළිබඳව සොයා බැලීමේ දී පෙනී යයි.

වර්තමාන වෛද්‍ය කර්මය බොහෝ දුරට මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඇත්ත වශයෙන් ම එය මුදල් ඉපයීමේ වඩා ලාබදායී ව්‍යාපාරයකි. නවීන උපකරණ සහ ප‍්‍රතිකාර ක‍්‍රම තව දුරටත් සැමට ම සමාන ලෙස ලබා ගත නො හැක. මෙහි ප‍්‍රතිඵලය වෙදකම එන්න එන්න ම වරප‍්‍රසාදලාභීන්ගේ සේවාවක් බවට පත් වීම ය. රජය විසින් නොමිලේ වෛද්‍ය සේවාව ලබා දෙන බව සැබෑවකි. එහෙත් එ් අභිබවා වාණිජකරණය වන ප‍්‍රවණතාව වර්ධනය වෙමින් පවතින බව ද සැබෑවකි.

හෙළ වෙදකම මෙම වාණිජ පරමාර්ථයන් ඉක්මවා ගිය එකක් විය. රටවැසියන්ගේ සුඛිත මුදිත බව රජුගේ වගකීමක් ලෙස සලකන ලද හෙයින් වෙදකම රජය විසින් පෝෂණය කරන ලදි. රෝගීන් සුවපත් කරන වෛද්‍යවරුන්ට එම සේවය අගයනු වස් දීමනාවන් ලබා දීමට රජතුමා විසින් කටයුතු කරනු ලැබී ය. චූල වංශය සඳහන් කරන්නේ රජුන් විසින් වෛද්‍යවරුනට ඉඩකඩම් ලබා දුන් බව ය.

හෙළ වෙදුන්ගේ ඉලක්කය වූයේ රෝගියා සුව කිරීම පමණි. ඔහු වෛද්‍ය ගාස්තුවක් බලාපොරොත්තු නො වී ය. සපයනු ලබන ඖෂධ ඉතා පහසුවෙන් අවට පරිසරයෙන් සොයා ගත් පැළෑටි ආශ‍්‍රිත නිෂ්පාදන වූ හෙයින් එ් සඳහා වෛද්‍යවරුනට අමතර වියදමක් දරන්නට සිදු නො වී ය. වෛද්‍යවරයාගේ නඩත්තුව සඳහා රජු විසින් ලබා දෙන ලද දීමනාව හෝ ඉඩ කඩම් ප‍්‍රමාණවත් විය. එසේත් නැත්නම් ගමේ සමාජ සංවිධානය විසින් වෛද්‍යවරයා නඩත්තු කරන ලදි. වෛද්‍ය කර්මයට කාලය ලබා දෙනු වස් ගැමියන් විසින් ඔහුගේ ඉඩ කඩම් සාමුහික ලෙස වගා කර දෙන ලදි.

වෛද්‍ය දැනුම පරපුරෙන් පරපුරට දායාද කළ දැනුම් සම්භාරයක් විය. ගුරු ගෝල සබඳතාව ඉතා දැඩි ලෙස අවශ්‍ය වු ශාස්ත‍්‍රයක් ලෙස වෙදකම සලකන ලදි. ගුරු ගෝල සබඳතාවෙහි වැදගත් සාධකයක් වූයේ ගෝලයා විසින් ගුරුවරයා යටත දීර්ඝ කාලයක් පුහුණුව ලැබීමයි. මෙම පුහුණුවට රෝග හඳුනාගැනීම, ඖෂධ හඳුනාගැනීම හා සකස් කිරීම, සුදුසු ප‍්‍රතිකාර ක‍්‍රම තීරණය කිරීම ඇතුළත් විය. මෙම දැනුම කෙටි කලකින් ලබා ගත නො හැක. එනිසා ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ දීර්ඝ කාලයක පුහුණුව අත්‍යවශ්‍ය විය. උදාහරණයක් වශයෙන් නාඩි අල්ලා බලා රෝග විනිශ්චය කිරීම බලමු. මේ සඳහා ලිඛිත උපදෙස් නැත. සිය ගණන් රෝගීන්ගේ නාඩි අල්ලා තම ගුරුවරයාගේ මග පෙන්වීම යටතේ ලබා ගත යුතු පුහුණුවකි. සෑම විට ම පාහේ පියාගෙන් පුතුනට හෝ දියණියනට වෙද දැනුම පරම්පරාගතව ලැබුණේ මෙම කාරණය නිසා ය.
මෙම ක‍්‍රියාවලියේ සමස්ත ප‍්‍රතිඵලය වූයේ වෙදකමට ම කැපවූ අති දක්ෂ වෙද පරපුරක බිහිවීම ය. පරපුරෙන් පරපුරට එක් වූ අත්දැකීම් සම්භාරය නිසා හෙළ වෙදකම අද්විතීය තත්ත්වයකට පත් වී තිබිණ.
හෙළ වෙදකම ක‍්‍රමයෙන් අභාවයට යෑම ආරම්භ වූයේ බටහිර ආධිපත්‍යය සමග ය. එය වඩා වේගවත් වූයේ ගෝලීයකරණය සහ වාණිජකරණයේ බලපෑම තුළින් ය. හරිත විප්ලවය විසින් දේශීය වගා රටාව බිඳ දැමු අන්දමට ම බටහිර වෛද්‍ය විද්‍යාවේ ආගමනය සමග දේශීය වෙදකම පහතට ඇද දමන ලදි. හරිත විප්ලවය විසින් මෙරට දේශීය බිජ සහ කෘෂි තාක්ෂණය මුළුමනින් ම බිඳ දැමීම සඳහා අඩ සියවසක කාලයක් ප‍්‍රමාණවත් විය. එහෙත් ඊටත් වඩා අප රට ජන ජීවිතයට කිඳා බැස තිබුණු දේශීය වෙදකම එතරම් ඉක්මනින් විනාශ මුඛයට යැවීම පහසු නො වී ය.

ඉන්දීය සම්භවය සහිත, එමෙන් ම මනා ලෙස ග‍්‍රන්ථාරූඪ කරන ලද දැනුම් සම්භාරයක් සහිත ආයුර්වේදය යම් පමණක රාජ්‍ය අනුග‍්‍රහයක් සහිතව අප රට තාමත් සංස්ථාගතව ඇත. එහෙත් එ් සමාන අනුග‍්‍රහයක් දේශීය වෙදකමට ලැබුණේ නැත. දේශීය මූලයන් සහිත හන්දි, ගෙඩි, නාඩි චිකිත්සා, සර්ප විෂ වෙදකම මෙන් ම ගව (සත්ව) වෙදකම ද කෙමෙන් අභාවයට යන්නට පටන් ගෙන ඇත. එ් සඳහා කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නො ලද හෙයිනි. රාජ්‍ය පිළිගැනීමක් නොමැති වූ විට වූයේ ප‍්‍රතිකාර කිරීම නීති විරෝධී ක‍්‍රියාවක් බවට පත් වීම ය. තම ප‍්‍රතිකාර ක‍්‍රම නිත්‍යානුකුල කරගැනීම සඳහා දේශීය වෙදැදුරන්ට සිදු වූයේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය යටතේ ලියාපදිංචි වීමට ය.

බැලූ බැල්මට මෙහි එතරම් නරකක් පෙනෙන්නට නැත. එහෙත් එක් දෙයක් පෙනෙන්නට ඇත. එනම් ආයුර්වේදය පවා වාණිජකරණයට කෙමෙන් ලක් වන බව ය. වත්මන් සමාජ ආර්ථික ක‍්‍රමය තුළ පැවැත්ම සඳහා වාණිජකරණය අත්‍යවශ්‍ය යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් එ් තුළ කෙතෙක් අපගේ බොදු අනන්‍යතාවය හා සාරධර්ම තිබේදැයි සිතා බලන්නට කාලය එළඹ ඇත. වෛද්‍ය කර්මයේ අත්‍යවශ්‍ය මෛත‍්‍රිය කරුණාව මුදිතාව වැනි ගුණාංග තාමත් අප තුළ තිබෙනවා ද?

මෙම කරුණ පිළිබඳව අප අවධානය යොමු කළ යුත්තේ ඇයි? නවීන වෛද්‍ය විද්‍යාව විස්මිත සොයාගැනීම් කරන බව සැබෑවකි. රෝගියාගේ නාඩි අල්ලා හෙළ වෙදැදුරෙකු විසින් කරන ලද හෙළිදරව්ව සිදු කිරීමට අද එක්ස් කිරණ, අල්ට‍්‍රා සවුන්ඞ්, එම්. ආර්. අයි. ස්කෑන් (MRI) වැනි උපකරණ යොදා ගැනේ. අප එ් ගැන අසතුටු විය යුතු නැත.

එමෙන් ම නව ප‍්‍රවණතා ගැන ද අප අවධානය යොමු කළ යුතු ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ සීමා ගැන අපට අවබෝධයක් තිබේ ද? පිළිකා රෝග හඳුනාගැනීමට නවීන උපකරණ ඇත. එහෙත් පිළිකාවලට නිශ්චිත ප‍්‍රතිකාරයක් තාමත් නැත. පිළිකා ප‍්‍රතිකාර සඳහා විකිරණ ඇල්ලීම්, රසායනික ප‍්‍රතිකාර තිබෙන නමුත් එ්වායෙන් නිට්ටාවට සුව වීමක් නැත. මෙම ප‍්‍රතිකර්මවල අතුරු ආබාධ ඇතැම් විට මුල් ආබාධයට වඩා දරුණු ය.
බටහිර රටවල වෛද්‍යවරුන් මෙන් ම ඖෂධ නිෂ්පාදන සමාගම්වල ප‍්‍රධානීන් ද, නවීන ප‍්‍රතිකාර වෙනුවට විකල්ප ප‍්‍රතිකාර (alternative medicine) සොයන ප‍්‍රවණතාවක් දැන් ඇත.

නවීන ප‍්‍රතිකාර සහ විකල්ප (දේශීය) ප‍්‍රතිකාර අතර වෙනස නම්, දේශීය ප‍්‍රතිකාර අංග සම්පූර්ණ එ්වා (holistic)  වීම ය. නවීන විද්‍යාත්මක ප‍්‍රතිකාර බොහෝ විට භාවිත කරන්නේ ක‍්‍රියාකාරී රසායනිකය පමණි. මෙය උපමාවකින් කියනවා නම් පැරසිටමෝල් පෙත්තක් බීම සහ පස් පංගුව කසායක් බීම හා බඳු ය. පැරසිටමෝල්වල ඇත්තේ එක් ක‍්‍රියාකාරී රසායනිකයක් පමණි. පමණ ඉක්මවා ගතහොත් මාරාන්තික විය හැක. එහෙත් පස් පංගුවේ අඩංගු ඖෂධීය ගුණය එක් ක‍්‍රියාකාරී රසායනිකයක් නො වේ. ඖෂධ පැළෑටි කිහිපයක සංයෝගය තුළින් ක‍්‍රියාත්මක වන ස්වභාවයකි. කිසිදු මාරාන්තික අනතුරක් නැත.

නව ප‍්‍රවණතාව වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව නවතින තැන සිට දේශීය වෛද්‍ය විද්‍යාව ක‍්‍රියාත්මක වීම ආරම්භ වන බව ය. අද වෛද්‍ය විද්‍යාව මහත් වෙහෙසක් දරා විසඳුම් සොයන ගැටලූවලට දේශීය වෙදකමේ ප‍්‍රතිකාර තිබී ඇත. මෙම ලිපියේ මුලින් ම මා උපුටා දැක්වු රිබෙයිරෝගේ වාර්තාව බලන්න. පිළිකාවලට හෙළ වෙදකමේ සාර්ථක ප‍්‍රතිකාර තිබී ඇත. අපගේ ම මෝඩකම් තුළින් අප විසින් ම එම දැනුම් සම්භාරය නො සලකා හැර, විනාශයට යාමට ඉඩ දී බලා සිට ඇත.

නවීන දැනුම ඉවත දමා දේශීය දැනුම යළි බාර ගත යුතු යැයි මෙයින් අදහස් නො වේ. මේ දැනුම් සම්භාර දෙකට ම ඉඩ කඩ තිබිය යුතු ය. එක් දැනුම් සම්භාරයක් තම වාණිජ පරමාර්ථ ඉටු කරගන්නට බලා සිටින්නන්ට ගිල ගැනීමට ඉඩ දිය යුතු නැත.

ඇස් ඇර බලන්නට කාලය එළඹ ඇත. වෙදකම වාණිජකරණයට යටත්වන තෙක් අප බලා සිටිනවා ද? දීර්ඝ කාලයක් තිස්සේ එක් කරගත් දැනුම් සහ අත්දැකීම් සම්භාරය සංරක්ෂණය කොට සංවර්ධනය කොට මතු පරපුරට දායක කිරීමේ වැඩපිළිවෙළකට යාමට මේ සුදුසු කාලය නො වේ ද?

මේ ඔබට සිතන්නට කාලයයි.

සටහන
හැපීග‍්‍රීන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව 

– See more at: http://mahamegha.lk/featured-articles/deshiya-wedakama-rekaganimu/#sthash.6Raq9aLq.dpuf

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න

ඔබගේ අදහස දක්වන්න
ඔබගේ නම