දියවැඩියාව සඳහා ස්වභාවික ප‍්‍රතිකාර ක‍්‍රම අනුගමනයදී ශාකසාර ඔසු භාවිතයට නූතනයේදී ලෝකයේ බොහෝ රටවල ජනතාව විශේෂ ප‍්‍රවණතාවයක් දක්වයි. දේශීය වශයෙන්ද දියවැඩියාව සඳහා  විවිධ ශාක ඖෂධ භාවිතයට ශ‍්‍රී ලංකාවේද  දියවැඩියා රෝගීන් මෙන්ම දියවැඩියාව ප‍්‍රතික්ෂේප කරන පිරිස් ද විශාල වශයෙන් ප‍්‍රවණතාවයක් දක්වයි. රට පුරා ප‍්‍රසිද්ධ ආයුර්වේද ඖෂධ සමාගම් නොයෙකුත් වර්ගයේ ශාක සාර ඔසු හඳුන්වාදීමද සිදුකර ඇත. ඒ අතර දියවැඩියාව සඳහා දේශීය ශාකයක් වන මස්බැද්ද වැල් ශාක ඔසු  වඩා ගුණාත්මකවූ ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධයක් බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුව ඇති බව දේශීය වෛද්‍යවරු පවසති.

කෑගල්ල කිරිවන්දෙණිය  ප‍්‍රදේශයේ පදිංචි වන සාරා කිරවන්දෙණිය මෙනවිය දියවැඩියාව සඳහා පාරම්පරිකව ආයුර්වේද වෛද්‍යවරුන් ඖෂධ වශයෙන් භාවිතා කළ මස්බැද්ද වැල් ශාකය  වගාකර ස්වභාවික ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට යොමුව සිටියි. ඇය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා උපාධිධාරිනියකි.

 දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී අතීතයේ සිටම භාවිතා කළ ඖෂධ වටිනා කමක් ඇති මස්බැද්ද වැල් ශාකය GYMNEMA SYLVESTRE යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.

සාරා කිරිවන්දෙණිය මෙනෙවිය විසින්  මස්බැද්ද වැල් ශාකය   සිය පියාණන් වූ විශ‍්‍රාමලත් ප‍්‍රාදේශීය විදුලි අධිකාරීවරයකුවූ කේ.ජී.කේ. කිරිවන්දෙණිය මහතාගේ ද පූර්ණ සහ ඇතිව ඇය ඉතාම උනන්දුවෙන් සාර්ථකව මස්බැද්ද ශාක වගා කිරීම අස්වැන්න නෙලීම ඖෂධ නිෂ්පාදනය ආදිය සිදුකරන්නීය. තම වගාව සහ මස්බැද්ද ශාක සාර ඔසු නිෂ්පාදන පිළිබඳව ඇය මෙසේ විස්තර කළාය.

මම මේ වගාව ආරම්භ කළේ කෘෂි විද්‍යා අංශය දැනුම සමඟ ඇතිවූ උනන්දුව මත මා විසින් සිදුකරන යම් පර්යේෂණාත්මක ඵලදායී කාර්යයක නිරතවීමේ අවශ්‍යතාවකාවක් මා හට තිබූ නිසායි. ඒ සඳහා  වගා කටයුතු වල නිරතවන්නට අවශ්‍ය සහය මට ලබා දෙන්නේ මගේ දෙමාපියන් දෙදෙනයි.

මුලින්ම මස්බැද්ද ශාකය ගැන මා අධ්‍යයනයක් සිදුකළා.  රුහුණු විශ්වවිද්‍යාල මේ ගැන පර්යේෂණ සිදුකර තිබෙනවා. පසුව මම වගාවට යොමු වූ මුල් කාලයේ මස්බැද්ද වැල් ශාකය ඉහළයාමේදී ආධාරක වශයෙන් ග්ලිරිසීඩියා හෙවත් ලාඩප්පා ශාක සිටුවූවා. නමුත් මස්බැද්ද වැල් ශාකයේ අධාරකයක් වශයෙන් එය භාවිතය එතරම් සුදුසු නොවන බව පෙනී ගිය නිසා දැන්  ජලනල සඳහා යොදාගනු ලබන ප්ලාස්ටික් බට අධාරක වශයෙන් යොදා ගෙන තිබෙන්නේ  යයි  පවසමින් ඇය තවදුරටත්  ඒ පිළීබඳ විස්තර කළාය.

මසබැද්ද වැල් ශාකයේ කොල යොදාගෙන පියාගේ සහය ඇතිව දියවැඩියාව සඳහා සුදුසම ඖෂධ සහ තරබාරු කම අඩුකරන්නට උපකාරී වන මස්බැද්ද ඔසු තේ නිෂ්පාදන වෙළඳපළට යොමු කරන්නේ  මේ ඖෂධ පෙති කරල් චූර්ණ වශයෙන්ද නිෂ්පාදනය කර තිබේ.

මගේ පියාගේ පරම්පරාවේ මගේ මිත්තණියක් මේ ප‍්‍රදේශයේ අතීතයේදී ආයුර්වේද වෙදකමේ නිරතව තිබෙනවා. පියාගේ පියා වන කේ.ජී.කේ කිරිබණ්ඩා මහතාද වෙදමහතෙක්. පියාද ඒ අභාෂය ඇසුර ලබා තිබෙනවා. ඒ අනුව යමින් මගේ පියා විශ‍්‍රාම ගත් පසුව සිංහල ආයුර්වේද වෙදකම පාරම්පරිකව ලබාගත් දැනුම උපයෝගී කරගෙන සිදුකරනු ලබනවා. අප ඖෂධ නිෂ්පාදනය කරන්නේ පාරම්පරික ආයුර්වේද ඖෂධ වට්ටෝරු අනුව බව  පවසන්නේ එ නිසයි.

ස්වභාවික ඔසු භාවිතය අතුරු ආබාධ අවම කරනවා.  ලංකාවේ බොහෝ පිරිස්  ස්වභාවික ඔසු භාවිතයට නැඹුරුව සිටින්නේ කෘෂිකාර්මික රටක් වශයෙන් ලබන අත්දැකීම් මත විශ්වාසයෙන් බව පැහැදිලි කරුණක්. බොහෝ සංචාරකයන්ද මස්බැද්ද ඔසු නිෂ්පාදන කෙරෙහි උනන්දුවක් දක්වන බව පෙනෙන්ට තිබෙන කරුණක්. දියවැඩියාවට මෙන්ම බොහෝ විට අනවශ්‍ය තරබාරුව වළක්වා ගැනීමටත් මස්බැද්ද ශාකය සහ එහි කොටස්  දේශිය පාරම්පරික වෙදදුරන් විසින් යොදාගනු ලබයි.

මස්බැද්ද වගාවට හිතකරවූ සුදුසු දේශගුණික සහ පාරිසරක තත්වයන්  අප රටෙහි ස්ථාපිතව තිබෙනවා. යනුවෙන් ඇය තම මස්බද්ද ආයුර්වේද ඔසු නිෂ්පාදන සහ වගාව පිළිබඳව විස්තර කළාය.

ඒ වාගේම මේ මස්බැද්ද ඔසු භාවිත කළ සුවය සහනය ලද අයද සිටීම සතුටට කරුණක්. ගාල්ල පොලොන්නරුව මහනුවර කිරිබත්ගොඩ ප‍්‍රදේශවල ඔසු නිෂ්පාදන අලෙවි සල් වලදී  දියවැඩියාව සඳහා වන මස්බැද්ද ශාකසාර ඔසු නිෂ්පාදන අලෙවිය සිදුකෙරෙන බව සාරා කිරිවන්දෙනිය මෙනෙවිය අප සමඟ පැවසුවාය.

 

මස්බැද්ද අයත් වරා කුලයට හෙවත්  ASCLEPIADACEAE පවුලයට” මෙම ශාකයේ ලංකාවේ දේශීය ශාක විශේෂය GYMNEMA SYLVESTRE යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.

මස්බැද්ද වැල් ශාකයේ  ඇති ජිම්නෙමික් අම්ලය නැමැති  ස්වභාවික  රසායනික සංයෝගයට මිනිසාගේ දිවට ලූණු රස සහ පැණි රස දැනීම තාවකාලිව පැය 10 ක් 12ක් තරම් කාලයක් වැළැක්වීමට හැකියාවක් ඇතැයි  තහවුරුව ඇති බව ඒ පිළිබඳව   සිදුකළ පර්යේෂණ අනුව  ඌව පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ උපදේශක කෘෂි විද්‍යාඥ සහය මාහාචර්ය පියල් මාරසිංහ මහතා ප‍්‍රකාශ කරයි. තවදුරටත් මෙම ශාකය සම්බන්ධව  ඒ මහතා විස්තර කළ කරුණු මෙසේය.

මස්බැද්ද වැල් ශාකයේ ඇති මෙම ජිම්නෙමික් අම්ලයට දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝර්න නිපදවන අක‍්‍රියවූ සෛල නැවත සක‍්‍රිය කිරීමේ හැකියාවක් ඇත. එනිසා ඉන්සියුලින් හෝමෝර්න නිෂ්පාදනය වේගවත් කර රුධිරයේ සීනි ප‍්‍රතිශතය ශරීරයට හිතකර අවශ්‍ය ප‍්‍රමාණයට පාලනය කිරීමේ හැකියාවෙන්ද යුතුවේ.

මස්බැද්ද ශාකයේ ජිම්නෙමික් අම්ලවල මේ සුවිශේෂි කි‍්‍රයාකරිත්ව නිසාම දියවැඩියා රෝගීන්ගේ නිරෝගී දිවිපැවැත්මට රුකුල්දෙන මහඟු ප‍්‍රත්‍යක්‍ෂ ඔසුවක් වශයෙන් මස්බැද්දවැල් ශාක සාර ඖෂධ දියවැඩියා රෝගීන් අතර පිළිගැනීමට සහ ජනප‍්‍රියත්වයටද පත්ව ඇත.

මස්බැද්ද ශාක වල ඇති ජිම්නෙමික් අම්ලය මිනිස් සිරුරේ අභ්‍යන්තර රුධිරයට ග්ලූකෝස් හෙවත් සීනි එක්වීම ප‍්‍රමාද කිරීමේ ගුණයකියකින් යුතු බව පර්යේෂණාත්මකව තහවුරුව ඇත. රුධිරයේ සීනි පාලනයට මස්බැද්දවැල් ශාකය කොළවල ඇති හැකියාව සම්බන්ධව තොරතුරු පළමු වරට වාර්තා වන්නේ 1920 දීය. ඉන්දියානු ගැමි සමාජයේ දියවැඩියා රෝගය සඳහා මූලාරම්භයේ දීම මස්බැද්ද ශාකය යොදාගෙන ඇත.

දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝර්මෝන නිෂ්පාදන සෛලවල ක‍්‍රියාවලිය ප‍්‍රකෘතිමත් කිරීමේ හැකියාවක් මෙම මස්බැද්ද ශාකයේ කොළවල සාරයේ හෙවත් ඉන් පෙරන ලද යුෂවල අන්තර්ගත වෙයි. මේ පිළිබඳ විස්තර කළ කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා මෙම ශාකයේ ඔසු වටිනාකම සවිස්තරව පැහැදිලි කළේය.

මිනිස් ශරීරයේදී ක‍්‍රියාත්මක වන්නේ මස්බැද්ද  වැල් ශාකයේ කොළවල සාරයෙහි  ජිම්නෙමික් අම්ලය නම්වූ ස්වභාවික රසායනික සංයෝගයයි. එය ග්ලූකොස් අණු වලට බෙහෙවින් සමාන වේ. මේ ජිම්නෙමික් අම්ලය ග්ලූකෝස් අණුක ව්‍යුහයට සමාන වන නිසා ග්ලූකෝස් සහිත පැණි රස ආහාරයක් ගැනීමට පෙර මස්බැද්ද ශාක ඖෂධ ලබාගත් විට මුඛය සහ ආහාර ජීර්ණ පද්ධතියේ අග්න්‍යාසය යන ස්ථානවලදී ජිම්නෙමික් අම්ලයේ ක‍්‍රියාකාරිත්ව වඩා ප‍්‍රබලවීම නිසා දිවට පැණි රස නොදැනීමත් රුධිරයට ග්ලූකොස් අවශෝෂණය ප‍්‍රමාදවීමත් සිදුවේ.

අතීතයේ සිටම චීනය සහ ඉන්දියාව සහ දියවැඩියාවට ස්වභාවික ඖෂධයක් ලෙස දීර්ඝ කාලයක් මස්බැද්දවැල් ශාක භාවිතා කරයි. අතීතයේ දී මස්බැද්දවැල් ශාක ස්වභාවික ඖෂධ සර්පවිෂ සඳහා ද නාග විෂ සඳහා ප‍්‍රබල ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ ලෙසද භාවිතය සිදුව ඇත. උදරාබාධ අක්මා රෝග පිත්තාශයේ රෝග මලබද්ධය සඳහාද කැඩුම් බිඳුම් වලදී හා ඇස් රෝග වලදී  ප‍්‍රතිකාර පිණිසද පාරම්පරික හා දේශීය වෛද්‍යවරුන් මස්බැද්ද වැල් ශාකයේ කොටස් හා සම්පූර්ණ වැල් ශාකයමද ප‍්‍රයෝජනයට ගෙන ඇත.

එසේම පිළිස්සුම් අවස්ථා වලදී රෝගීන්ට සහනය හා සුවය සාදන ඖෂධයක් වශයෙන් දේශීය පාරම්පරික වෙදැදුරන් මෙම ශාකය ප‍්‍රතිකාර ක‍්‍රමවේද පිණිස අතීතයදී යොදාගෙන ඇත.

එසේ නමුත් වර්තමානයේදී දේශීය ශාකයක් වන  මස්බැද්ද වැල් ශාක ඔසු දියවැඩියාව සඳහා ප‍්‍රබලවූ ආයුර්වේද ඖෂධයක් වශයෙන්  ශ‍්‍රි ලංකාවේ  භාවිතා වන ඉතා ඉහළ පිලිගැනීමක් සහිත ප‍්‍රත්‍යක්‍ෂ ඔසුවකි. මේ පිළීබඳව විස්තර කළ පියල් මාරසිංහ මහතා  මෙලෙස පවසා සිටියේය.

මස්බැද්ද වැල් ශාකය ඔසු වශයෙන් භාවිතයදී වැඩිදියුණු කළ ක‍්‍රමවේද හරහා පෙති කරල් සහ දියර වශයෙන් ප‍්‍රචලිතව පවතී. මෑත කාලයේදී බොහෝ විට ශ‍්‍රිලංකාව ඉන්දියාව චීනය ජපානය වැනි ආසියාතික රටවල් වලද දියවැඩියාවටත් ශරීරයේ අනවශ්‍ය බර හා තරබාරුව අවම කරගැනීමටත් ශාක සාර ඔසුවක් හැටියට මස්බැද්දවැල් ශාකය වැදගත්කම වඩා තහවුරුව ඇත.

 ජපානය චීනය ඉන්දියාව ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල්  දියවැඩියාව රෝගය සහ ස්ථුලභාවය පාලනය සඳහා මස්බැද්ද තේ නිෂ්පාදන වෙනත් මස්බැද්ද ඔසු නිෂ්පාදන  හඳුන්වාදී ඇත.

වර්තමානයේ ලොකයේ බොහෝ රටවල ජනතාවගේ නිරෝගී පැවැත්මට උපකාරිවනසේ මස්බැද්ද ශාකය කොළවල සාරය භාවිතා කර දන්තාලේප සහ මුඛ සෝදන දියර චුයින්ගම් වැනිදේ නිෂ්පාදනය කර ඇත.

බොහෝවිට මෙම දන්තාලේප සහ මුඛ සේදුම් දියර භාවිතයෙන් පසුව තරබාරු වැඩිහිටියන් සහ ළමුන්ද කේක් ටොෆී වැනි සීනි සහ පිෂ්ඨය සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටියි. එය ඔවුන්ගේ නිරෝගී බව රැකදෙන අතරම අනවශ්‍ය තරබාරුව වැළැක්වීමටද උපකාරී වෙයි.

දන්තාබාධ සහ මුඛය ආශ‍්‍රිතවූ බැක්ටීරියා ක‍්‍රියාකාරිත්වයෙන් දත්මුල් දත්වලට සිදුවන හානි වැළැක්වීමටද මස්බැද්ද වැල් ශාක කොළ වල සාරමය ගුණය උපකාරි වේ.

මස්බැද්ද වැල් ශාකයේ මුල් කොළ පොතු ගෙඩි නාරටිය මල් වැනි ශාකයේ සියළුම කොටස් ද ඇතැම් රෝග සඳහා දේශීය පාරම්පරික වෛද්‍ය ප‍්‍රතිකාර වලදී යොදා ගන්නා බව දේශීය වෙදදුරන් පවසයි. ඇතැම් රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමවේද වලදී මස්බැද්ද වැල් ශාකයේ මුල් හා කොල වැනි කොටස් පමණක් යොදාගනියි. වියට්නාමය ඔස්ටේ‍්‍රලියාව වැනි රටවල් දීර්ඝ කාලයක් තිස්සේ පාරම්පරිකව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙය භාවිතා කරයි. ජපානය මස්බැද්ද වැල් ශාකය සම්බන්ධ පර්යේෂණාත්මක ගවේෂණ සිදුකර ගුණාත්මක බව සනාථ කර නිරෝගි මානව සෞඛ්‍යාරක්‍ෂීත නිෂ්පාදන වෙළඳපළට හඳුන්වාදී ඇත.

ඉන්දියාව සහ ආසියාතික රටවල් බොහොමයක පවත්නා යුනානි සහ සිද්ධායුර්වේද ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමවේද වලදී  දියවැඩියාව සඳහා  මස්බැද්ද වැල් ශාකයේ ඖෂධමය ගුණාත්මක භාවයෙන් අනූන ඉතා වැදගත් ප‍්‍රත්‍යක්‍ෂ ඔසුවක් වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත්තේය. ලෝකයේ බොහෝ දියුණු ආයුර්වේද වෛද්‍ය පර්යේෂණාත්මක විශේෂඥයන්ගේ පර්යේෂණ සාධක අනුව එය සනාථව ඇත. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මස්බැද්ද වැල් ශාකයේ ඖෂධමය ගුණාත්මක අගය 1930 පමණ සිට පර්යේෂණාත්මකව හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ මෙම GYMNEMA ශෘක ප‍්‍රභේද විශේෂ දහයකට අධික ප‍්‍රමාණයක් දැනට හඳුනාගෙන ඇත.  මස්බැද්ද වැල් ශාකය නිජබිම වශයෙන් සැලකෙන්නේ ඉන්දියාවේ මධ්‍යම සහ බටහිර ඉන්දියානු නිවර්තන වන ප‍්‍රදේශයන්ය.  දියවැඩියාව සඳහා පාරම්පරික ස්වභාවික ඖෂධයක් වශයෙන් මස්බැද්ද වැල් ශාකයේ කොළ හෙවත් පත‍්‍ර භාවිතය ආරම්භ වන්නේ හයවන සියවස පමණ සිට සිදුවූ බව ඉතිහාසගත සාධක මගින් තහවුරු වන්නේ යයි දේශීය පාරම්පරික වෛද්‍යවරු පවසති.

මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වශයෙන් සළකන GYMNEMA SYLVESTRE යන්නෙහි GYMNEMA යන්න ග‍්‍රීක භාෂාවේ GYMNOS යන වචනය ඇසුරින් බිඳි ආවකි. එහි තේරුම විවෘත යන්නට සමානය. ඊට එක්වූ NEMA යන්න ඉංග‍්‍රිසි බසින් තේරුම් කලවිට NAKED  – THREAD යන ලෙසින් වෙන්කර ගත්විට  අනාරක්‍ෂිතව රිංගායන වැනි අදහසක් ගෙන දෙයි.  එසේම එහි එන SYLVESTRE යන්න ලතින් භාෂාවෙන් කැලෑව වනය යන තේරුම ගෙන දෙයි. මෙම වැල් ශාකය කෑලැවක් සේ වැඩෙන ස්වරූපයක් පෙනෙයි.

 සංස්කෘත බසින් මධුනාශිනි මේෂශෘංගී යනුවෙන් හැඳින්වෙයි. පැණි රස සීනි රස නොදැනෙන ගුණය මධුනාශිනී යන එම නාමයෙන් මස්බැද්ද හැඳින්වීමට හේතුවිය හැකි බව බොහෝ  වෙදදුරන් පවසයි.  හින්දි බසින් ගුර්මාර් මේරාසින්ගි මරාටි කාවාලි වාකුන්දි යනුවෙන්ද හඳුන්වයි.  දෙමළ බසින්  ආඩිගම් ශිරිකුරුන්ජ තෙලිඟු භාෂාවේදී පොඩිපත‍්‍රී යනුවෙන්ද නම් කර ඇත. මෙම වැල්ශාකයේ භාවිතයේදී සිංහලෙන්  මස්බැද්ද හඳුන්වනුයේ වශයෙනි. ඉංගි‍්‍රසියෙන් ගුර්මාර් හෝ එහි විද්‍යාත්මක නාමය වන GYMNEMA SYLVESTRE යනුවෙන්ද හඳුන්වයි.

සංස්කෘත බසින් මේෂගෘංගී යනුවෙන් හැඳින්වෙන්නේ මෙහි ඇති කරල් වල දක්නට ඇති ස්වරූපය බැටළුවකුගේ මෙන්ම එළුවකුගේද වල්ගයක ස්වභාවයෙන් යුතුවන බැවිනි.

 දඩයක්කරුවන් සතුන් දඩයම් කිරීමේදී  එකතු කරගන්නා මස් බැඳ තබාගැනීමට මෙම ශාකයේ වැල් උපයෝගී කරගත් බැවින් මස්බැද්ද ලෙස නම්වූ බවද ගැමියන් පවසයි.

මස්බැද්ද ශාකයට මස් බැද්ද යන නම යෙදී ඇත්තේ දඩයක්කරුවන් විසින් දඩයමේ යාමේදී ඇතිවන උවදුරුවලදී  ඇවිදින විට දෙපා සහ අත්ලෙහි මස් කටු ඇනීමෙන් ගලවාගත නොහැකි නිසා පඳුරක් වශයෙන් ඇති මස්බැද්ද ශාකයේ මිනිස් ශරීරයේ මස් තදින්  බැද තබාගන්නා ගුණය නිසාම මස්බැද්ද යන නමින් හඳුන්වන බව  ඇතැමුන් පවසයි.

ලංකාවේද මස්බැද්ද ශාකවල දර්ශ කීපයක්ම ඇත. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේද මෙම කටු සහිත පඳුරක්වූ මස්බැද්ද නමින් හඳුන්වන ශාකය දැකිය හැකිවෙයි. නමුත් එම මස්බැද්ද පඳුරු ශාකය එය දියවැඩියාව සඳහා ස්වභාවික ඖෂධ ලෙස භාවිතා කළ නොහැකිය.

 නමුත් එම කටු සහිත පඳුර දියවැඩියාව සඳහා යොදා ගන්නේ නැත. එහෙත් අප මස්බැද්ද වශයෙන් හඳුන්වන GYMNEMA SYLVESTRE යන විද්‍යාත්මක නාමය සහිත මෙම ඖෂධ ගුණැති ශාකය ඉතා ඉහළට වර්ධනය වන වැල් ශාකයකි. එය මස්බැද්ද වැල් ශාකය වශයෙන් හඳුන්වයි.

එමෙන්ම මේ ශාකය ස්වභාවිකව හඳුනා ගැනීමට ඇති  හොඳම ක‍්‍රමය වශයෙන්  මස්බැද්ද ශාකවල කොළ  හැපීමෙන්  පසුව අපගේ දිවට පැනි රස නොදැනෙන ස්වභාවයක් ඇතිවීමයි. මස්බැද්ද වැල් ශාකයේ කොලවල නාරටි පිහිටා ඇති ආකාරය සුවිශේෂි ස්වරූපයකින් යුතුවේ. එය ද මෙම ශාකය හඳුනාගැනීමට උපකාරී වේ.

ලංකාව ඉන්දියාව සහ අප‍්‍රිකානු රටවල  ඕස්ටේ‍්‍රලියා මහද්වීපයේ මස්බැද්ද වැල් ශාක වගාව දැකිය හැකිවෙයි. මෙම ශාක නිවර්තන වනාන්තර වල වගාවට නැඹුරුවක්  දක්වන අතර ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රී ලංකාවේ දේශීය ශාකයක් වශයෙන් භාවිතාවෙයි.

මස්බැද්දවැල් ශාකය කාෂ්ටීය වැල් ශාකයකි. වනාන්තර ප‍්‍රදේශවල උස ගස්වල අතු ඉති කඳ දිගේ ඉතාම ඉහලට විහිදී යන වැල් ශාකයකි. ලංකාවේ දේශීය ශාකයක් වන මෙය මොනරාගල වැල්ලවාය පදවිය නිකවැරටිය සහ බලංගොඩ බෙලිහුල්ඔය ප‍්‍රදේශවල නියම මස්බැද්දවැල් ශාක ව්‍යාප්තිය දැකගත හැකිය. ලංකාවේ පහතරට වියළි කලාපය වගාවට වඩාත් සුදුසුවේ.

ක්ෂේත‍්‍ර වගාවේදී පිටි මකුණාගේ හානිය ප‍්‍රධාන වගා ගැටළුවකි. මෙය වළක්වාගැනීමට නම් බුරුසුවකින් පිසදමා ගැනීමද සිදුකළ හැකියි. මේ හැරෙන්නට බීජ මගින් පැල සිටුවීමේදී දිලීර ආසාදන තත්වයන්ද ඇතිවිය හැකිය. වගාවට මනා හිරු එළියද සුදුසු ජල වහනය සහිත වැලි සහිත ලෝම පස වඩ යෝග්‍ය වෙයි.

 පත‍්‍ර හෙවත් කොළ එකිනෙකට සම්මුඛව පිහිටි ස්වභාවයක් දැකිය හැකිය. පත‍්‍රවල හැඩය එතරම් විශාල නොවූ සිහින් දිගටි  ඕවලාකාර ස්වරූපයකින් යුතු වේ. පත්‍ර වර්ණය දීප්තිමත් කොළ පැහැයකින් සමන්විතය. බෙහෝවිට කිරි අගුණ ශාකයේ පත‍්‍රවල හැඩයට සමානය. නාරටි විහිදෙන ආකාරයෙන් මස්බැද්ද ශාකය හඳුනාගත හැකිවීමද විශේෂත්වයකි.

නොවැම්බර් දෙසැම්බර් කාලය තුළ මල් හටගැනීම සිදුවේ. ඒවායේ මල් සුදුපැහැයට හුරු කහ පැහැයකින් යුතුවෙන කුඩා මලකි.  පුෂ්ප මංජරියක මල්හට ගැනීම සිදුවේ.

ඵල හෙවත් ගෙඩි කොලපැහැතිය. ඵලයක බීජ හෙවත් ඇට දොළහත් පහළොවක් පමණ පවතී. ඵලය මස්බැද්ද වැල් ශාකයේ වර්ධනය වෙමින් ක‍්‍රමයෙන් වියළි දුඹුරු පැහැයට හැරී ඵලය පිපිරීමට බඳුන් වෙයි.

මෙසේ පුපුරුමට පත්වන ඵලයේ බීජ පිහාටුවක් වැනි සියුම් ආධාරක ව්‍යුහයකින් යුතුවේ. එය සුළගේ පාවී ගොස් බීජ ව්‍යාප්තිය සිදුවෙයි. මෙහිදී මෙම පිහාටු ආකාරයේ බීජ සහිත ව්‍යුහය ඈතට ව්‍යාප්ත වීමක් සිදුනොවේ. නමුත් වර්තමානයේ හොමෝර්න වර්ධක යොදා වැල් ශාකයේ වැල  මගින් පැල ලබාගැනීම බහුලව සිදුකරයි.

දේශීය ශාකයක් වන මෙය ශ‍්‍රී ලංකාවේ ආර්ථික වගාවක් වශයෙන් ඉතා සාර්ථක ඵලදාවක් ලබාගත හැකිය. ඖෂධීය ගුණැති මෙම ශාකය කෙරෙහි ආයුර්වේද දෙපාර්ගමේන්තුව සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශය එක්ව  මස්බැද්ද ශාක වගා ව්‍යාප්තියට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් එය ඖෂධ සංරක්‍ෂණයට මෙන්ම ඔසු ආනයනික වියදම අවම කිරීමටද මහඟු පිටුබලයක්  වනබව උපදේශක කෘෂි විද්‍යාඥ සහය මාහාචාර්ය පියල් මාරසිංහ මහතා   පවසයි.

දියවැඩියාව පාලනය සහ දියවැඩියාව තුරන් කිරීම මෙන්ම නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවිපැවැත්මට ද මස්බැද්ද ශාක සාර ඔසු භාවිතය තවදුරටත් ව්‍යාප්තියේ වැදගත් කම දිනෙන් දිනම ප‍්‍රබලවම ප‍්‍රවර්ධනය වෙයි.

 අතීතයේ මස්බැද්ද ශාකය විවිධ රෝග පීඩාවලට  ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට යොදාගෙන ඇත. නමුත් වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ දේශීය ශාකයක් වශයෙන් මස්බැද්ද වැල් ශාකය දියවැඩියා රෝගය සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් බහුලවම යොදාගන්නා ස්වභාවික  ඖෂධමය ගුණයෙන් අනූනවූ සුවිශේෂි ගණයේ ඖෂධයකි.   ඌව පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ  උපදේශක සහය මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා ශ‍්‍රී ලංකාවේ දේශීය මස්බැද්ද වැල් ශාකය පිලිබඳව දීර්ඝ විස්තරය නිම කළේය.

දේශීය ආයුර්වේද පශූ වෛද්‍ය විද්‍යාවේදී අලි වෙදකමේදී අලින්ගේ සිරුරේ තුවාලවලට ප‍්‍රතිකාර කිරීමේදී මස්බැද්ද වැල් ශාකය නැතිවම බැරි ඖෂධයක් බව දේශීය පශු වෙදදුරන් පවසයි .  මස්බැද්ද වැල් ස්වභාවික ඖෂධ ශාකයේ අඩංගුවන හානියට පත් මාංශපේශී සවිවර කිරීමේ ඉහළ ගුණාත්මකභාවය ඊට හේතුවන බව ඔවුන් කියයි.

එක්සත් ජාතින්ගේ ලෝක වන සත්ව හා ශාක සංරක්‍ෂණ මණ්ඩලය විසින් ප‍්‍රකාශිත ලෝක රතු දත්ත පොතෙහිද ඇතුළත් මෙම ශාකය ඉතා දුර්ලභ ගණයේ දේශීය ශාකයකි

උපුටාගැනීමකි