දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

හෙළ ආහාර රටාවෙන් රෝග ජයගමු

ගොටුකොළ කෑවාම මොළේ වැඩෙනවා…. කැකිරි ඇඟ සීත කරනවා, මුත‍්‍රා අමාරු නැති කරනව.. රටදෙල් ඌෂ්ණ කෑම.. කරවිල සීනි අඩු කරනවා.. පොලොස් කෑවම අම්මලාට කිරි එරෙන එක වැඩි වෙනවා.. බෙලි කෑවම බඬේ තුවාල සනීප වෙනචා..” වැනි කතා අපට අපගේ දෙමාපියන් හා වැඩිහිටියන්ගෙන් අසන්නට ලැබේ.

අතීතයේ අපගේ මුතුන් මිත්තන් අනුභව කළ සෑම සහල් වර්ගයක් ම යම්කිසි ඖෂධීය ගුණයක් නිසා ප‍්‍රචලිත විය. හීනටි හාල්වල කැල්සියම් ඉහළ අගයක් ගත් නිසා දරු ප‍්‍රසූතියකින් පසු ශරීර ශක්තිය යළි වඩවා ගැනීමට කිරි දෙන මවුවරුන්ට සුවිශේෂ විය. සුවඳැල් මධුමේහයට ප‍්‍රතිකාරයක් විය. බත් වශයෙන් ගන්නවාට වඩා ඇතැම් සහල් වර්ග කැඳවලට උචිත විය.

උත්සව අවස්ථාවල සකස් කළ අමතර ආහාර, රස කැවිලිවල පවා ඖෂධීය ගුණ අගුණ ගැන අපි දැන සිටියෙමු. අධික ලෙස තෙල් සහ සීනි සහිත ආහාර බහුලව ගන්නා උත්සව කාලවල දී ගනු ලබන අනෙක් ආහාර එම තෙල් සහ සීනි ගතිය සමනය කරගැනීමට හැකිවන පරිදි සකසා ගත් ඒවා විය. දහවල ගත් ආහාරය සමග ගැටෙන/නො ගැළපෙන ආහාර රාත‍්‍රි ආහාර වේලට එක් නො වී ය. පත්තියම යන්න ඖෂධවලට මෙන් ම ආහාරවලට ද අදාළ විය. ඇතැම් ආහාර වර්ග රාත‍්‍රි ආහාර වේලට කිසි විට එක් කරගත්තේ නැත.

මෙම ආහාර ගුණයන් අපගේ වැඩිහිටියන්ගේ මනස්ගාත නො වී ය. දේශීය මෙන් ම ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුව විමසන්න. ඔවුන් ඒවා ඉහළින් ම අනුමත කරනු ඇත. බොහෝ විට ගැමියන්ට, වැඩිහිටියන්ට එම දැනුම ලැබෙන්නට ඇත්තේ දේශීය වෙදැදුරන්ගේ ඇසුරෙන් ම විය හැකි ය. කාලාන්තරයක් තිස්සේ ලබන ලද අත්දැකීම්වලින් විය හැකි ය.

මා මේ දෙය මතකයට නැංවූයේ අපගේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත් ම අංගයක් තේරුම් කරදීමට ය. එනම් අප ගත් සෑම ආහාරයක් ම ඖෂධයක් බව ය. පැහැදිලි ඖෂධීය අගයක් හඳුනාගෙන තිබූ ඒවා බව ය. ඖෂධ අවශ්‍ය වන්නේ රෝග වළක්වා ගැනීමට සහ රෝගවලට ප‍්‍රතිකාර කිරීමට ය. එසේ නම් දේශීය ආහාර සංස්කෘතිය නිරෝගී ජන සමාජයක් ඉලක්ක කරගෙන සකස් වූවක් ලෙස හඳුනාගත නො හැකි ද? අප පැරැන්නන්ට අද අප අත්විඳින සෞඛ්‍ය ගැටලූ නො වූයේ එම නිසා නො වේ ද?

සෑම දෙනා ම දන්නා මෙම කරුණ යළි අවධානය කරන්නට අදහස් කළේ ආහාරය පිළිබඳව ඇති මෙම මූලික සත්‍යය යළි විමර්ශනකට භාජනය කරගත යුතු කාලය දැන් එළඹ ඇති බැවිනි. වර්තමානයේ ආහාර රටාව ගැන අප තුළ ඇති වැරදි වැටහීම් ගැන යළි විමසා බැලීමට කාලය එළඹ ඇති බැවිනි.

සමබර දසමබල ද?

වර්තමානයේ අපට ආහාර පිළිබඳව දැනුම ලබා දෙන්නේ පාසලේ දී හෝ සෞඛ්‍ය නිලධාරීන් විසිනි. පාසලේ විෂය කොටසක් ලෙස සෞඛ්‍යාරක්ෂක ආහාර ගැන ඔබ උගත් බවට සැකයක් නැත. එමෙන් ම රජයේ රෝහලකට හෝ මහජන සෞඛ්‍ය කාර්යාලයකට ගියහොත් විශාල පෝස්ටර් මාර්ගයෙන් ඔබට සහ ඔබට හා ඔබේ දරුවාට ලබා දිය යුතු පූර්ණ ආහාර වේලක් ගැන උපදෙස් දී ඇති අන්දම පෙනෙනු ඇත. ශරීරය වැඩෙන ආහාර, ශක්තිජනක ආහාර, ශරීරය නිසි පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාර ගැන මෙමගින් ඔබට පැහැදිලි කර ඇත.

එවන් පෝස්ටරයක ඇති කරුණු සාරාංශ වශයෙන් මෙසේ ය. එහි කාණ්ඩ 6 කට ආහාර වර්ග බෙදා එ්වා පරිභෝජනයට උපදෙස් දෙයි.
1. බත්, ධාන්‍ය පිටි සහිත ආහාර
2. එළවළු
3. පලතුරු
4. මස්, මාලූ, බිත්තර, හාල්මැස්සන්, කරවල, පියලි සහ ඇට වර්ග
5. කිරි ආහාර
6. හිතකර මේද අඩංගු මාලූ, කජු, රට කජු, අලිගැටපේර ආදිය
එමෙන් ම එහි දක්වන්නේ මෙම වර්ගවලින් යුතු සමබල ආහාරයක් දිනපතා ගන්නා ලෙසයි.

මඳක් සිතා බලන්න. අප දේශීය ආහාර සංස්කෘතියේ වූ ප‍්‍රධාන ම නිර්ණායකය වන ඖෂධීය ගුණය අද අපට ආහාර ගැනීමේ දී මතකයට එන්නේ නැත. ඒ වෙනුවට ප්‍රෝටීන්, විටමින් කාබොහයිඩ්‍රේට්, කැල්සියම්, යකඩ වැනි විද්‍යාත්මක නිර්ණායක මුල් තැනට පැමිණ ඇත. නවීන විද්‍යාවේ දියුණුවත් සමග එවැනි විග‍්‍රහයක් ආහාර පිළිබඳව දක්වන්නට සිදු වීමේ වරදක් අප දකින්නේ නැත. නූතන දරුවාට, කැල්සියම්, යකඩ, ප්‍රෝටීන්, අඩංගු ආහාර ලබාදීම අපගේ පරම ඉලක්කය බවට සැකයක් නැත. ඉහත සඳහන් පෝස්ටරයේ සඳහන්වන පරිදි සියලූ පෝෂ්‍ය පදාර්ථ අඩංගු අංග සම්පූර්ණ ආහාර වේලක් සඳහා අපගේ ඉලක්කය වනු ඇත. එහි වරදක් අප දකින්නේ නැත. එහෙත් අප ගන්නා ආහාර මගින් මෙම ඉලක්කය කෙතෙක් දුරට ඉටු වනවා දැයි අපි සිතා බැලූවා ද? අපි ‘සමබල’ වන්නට සිතුවා මිසක ‘සමබර’ වන්නට සිතුවේ නැත.

 

 

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටලූ (රෝග) අතරින් බහුතරය වන්නේ බෝ නො වන ගණයට වැටෙන ඒවා ය. බෝ නො වන රෝග යනු පරිසර සාධක නිසා නො ව, ඔබ විසින් ම ඔබේ වැරදි ජීවන රටාව නිසා ඇති කරගන්නා රෝග ය. පසුගිය සියවසේ මෙරට දරුණු ම රෝග වූයේ මැලේරියාව, ඩෙංගු, පාචනය වැනි වසංගත මට්ටමේ එ්වා ය. එනම් පාරිසරික සාධක මුල් කොටගෙන වැළඳෙන රෝගයන් ය. විවිධ රජයන් විසින් ගන්නා ලද වැළැක්වීමේ ක‍්‍රියාමාර්ග සහ ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් නිසා මේ වන විට එබඳු බෝ වන රෝග යම් තරමකට පාලනය වී ඇත.

එහෙත් එම රෝගවලට තිබූ තත්ත්වය අද වන විට හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, පිළිකා, ඔස්ටියෝපොරෝසිස් වැනි අප විසින් ම සාදා ගන්නා ලද අටානුවක් රෝගවලට හිමි වී ඇත.
අද ලෝකයේ රෝගීව මිය යන්නන්ගෙන් දළ වශයෙන් 60% ක් පමණ මිය යන්නේ බෝ නො වන රෝගවල ප‍්‍රතිඵල නිසා ය. වසරකට ලක්‍ෂ 80ක පමණ ජනගහනයක් අධි රුධිර

 

පීඩනයෙන් ද, ලක්‍ෂ 30ක ප‍්‍රමාණයක් බර අධිකකමින් ඇති වන සංකූලතා නිසා ද මිය යති. ලක්‍ෂ 50ක් මිය යන්නේ දුම් පානය නිසා ය. 2030 වසර වන විට බෝ නො වන රෝගවලින් මිය යන ගණන ලක්‍ෂ 52ක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වේ.

ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් ද අප කණගාටු වන තත්ත්වයන් වර්ධනය වනු පෙනේ. පසුගිය වසර 50 තුළ දී අපි බෝවන රෝග 24% සිට 12% දක්වා අඩු කරගෙන සිටිමූ. එ් වෙනුවට හෘද රෝග 3% සිට 24% දක්වා වර්ධනය කරගෙන සිටිමු. වර්තමානය වන විට අප රටේ රෝහල්වල ප‍්‍රතිකාර කරනු ලබන සියලූ රෝග තත්ත්වයන්ගෙන් 85%ක් ම බෝ නො වන ගණයේ ඒවා බවට පත්ව ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ හෘදරෝග සහ දියවැඩියා රෝගවලින් 80%ක් සහ පිළිකාවලින් 40%ක් ම අපගේ ජීවන රටාව වෙනස් කරගැනීමෙන් වළක්වා ගත හැකි බව ය.

තවත් සිත් ඇදගන්නා සුලූ තොරතුරක් ඇත. ඉහත සඳහන් බෝ නො වන රෝග ‘ධනවතුන්ගේ රෝග’ යයි සාමාන්‍ය කතාවක් ඇත. එසේ පවසන්නේ අධි පරිභෝජනය නිසා එම රෝග වැළඳෙන බැවිනි. එසේ නම් ලොව ධනවත් රටවල් මෙම රෝගවලින් මුල් තැන ගත යුතු ය. එහෙත් සත්‍යය වන්නේ සමස්ත ලෝකයේ ම මෙම බෝ නො වන රෝගවලින් 80%ක් ම ඇත්තේ නො දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල බව ය.
මෙයින් ගම්‍ය වන සත්‍යය කුමක්ද? සංවර්ධනයේ නාමයෙන් අපි දියුණු රටවල් ආදර්ශයට ගැනීමේ පුරුද්දකට ඇබ්බැහි වී සිටිමු. බටහිර රටවල් තම වැරදි ජීවන මාර්ගයන් නිවැරදි කරගන්නා තත්ත්වයක දී පවා අපි ඔවුන් බැහැර කළ ජීවන මාර්ග යළි වැළඳගනිමින් සිටිමු. සර්පයා නැට්ටෙන් අල්ලා ගත් අයකුගේ තත්ත්වයට අප පත් වී සිටිනු අපට ම නො වැටහීම අවාසනාවකි.

වරද ඇත්තේ කොහිද? බටහිරෙන් පැමිණෙන පරිභෝජනවාදය වැළඳගත් අපි නවීන ජීවන රටාවේ නාමයෙන් අපගේ සියලූ සාම්ප‍්‍රදායික දැනුම සහ තාක්ෂණය ප‍්‍රතික්ෂේප කළෙමු. බටහිර කෑම බීම ජීවන මට්ටම උසස් යයි පෙන්වන සංකේතයක් ලෙස සලකන තරමට ම අප ඊට ගැති වී සිටිනු පෙනේ.

දේශීය ආහාර රටාව යළි පණ ගන්වමු

දේශීය චින්තනයට පිටුපෑමේ ප‍්‍රතිඵල අපි අද භුක්ති විඳිමින් සිටිමු. මෙය අපට වඩාත් තේරුම්ගත හැක්කේ එය වර්තමාන ආහාර රටාව සමග සැසඳීමේ දී ය. මෙම කරුණු සලකා බලන්න.

අද නිතර අපට මුණ ගැසෙන ආහාර අප අනුභව කරන්නේ කුමන නිර්ණායක මත ද? අධික සීනි, අධික තෙල් ප‍්‍රතිශතයන් සහිත ආහාරයන් මිස ඖෂධීය හෝ හිතකර පෝෂණීය ගුණයක් ගැන සඳහන් කළ හැකි ආහාර ඒවා අතර වේ ද?

දිව පිනවීමේ ස්වභාවික ආශාව අපගේ තාර්කික ඥානය අභිබවා ගොස් නො වේ ද? අප තුළ සැඟවී ඇති දිව පිනවීමේ තණ්හාව මනා ලෙස අවබෝධ කරගත් සමාගම් විසින් රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් වැනි මාධ්‍යවලින් අකර්ෂණීය වෙළඳ දැන්වීම් හරහා ඒ සඳහා අපව පොළඹවා ගැනීම නිසා හැර මේ ආහාර නිතර භාවිතය ගැන වෙනත් තාර්කික හේතුවක් අපට සඳහන් කළ හැකි ද?

අප අත්‍යවශ්‍ය යැයි සිතා පරිභෝජනය කරන ආහාර වර්ග ගැන යළි මඳක් සිතා බලන්න. අපගේ රස තණ්හාව අවුස්සන සමාගම් ප‍්‍රචාරයන්ට අප වසඟ වී නැති ද?

අප පරිභෝජනවාදයේ ගොදුරක් වී ඇතිවා මිස සිදු වී ඇති දෙයක් නැත. ශරීරයේ සුවතාව රැකගැනීමට කිසිදු පිටිවහලක් නැති ආහාර රටාව තුල අප සිරකරුවකු කොට නොමැති ද?

 

ශ‍්‍රී ලාංකික අපගේ දේශීය ආහාර සංස්කෘතිය සම්බන්ධව යළි විමසා බැලිය යුතු කාලය එළඹ ඇත. ‘ආහාරය සෞඛ්‍යය රැකගැනීම සඳහා ය.’ යන අපගේ දේශීය චින්තනය ගැන හැරී බලන්න. අපගේ වැඩිහිටියන්ගේ දැනුම සහ තාක්ෂණය ගැන ගෞරවයෙන් බැලීමට මේ කාලයයි.

අපගේ සම්ප‍්‍රදායික ආහාර සංස්කෘතිය ගැන බොහෝ ලියවී ඇත. ඇතැම් රූපවාහිනී නාලිකා මගින් දේශීය ආහාර සැකසීම ගැන වැඩසටහන් නිතර ප‍්‍රචාරය කරනු දක්නට ඇත. එහෙත් මෙම ආහාර පරිභෝජන රටාව කෙතෙක් දුරට ඔබගේ සිත තුළට පිවිස ඇත්දැයි සිතා බලන්නට කාලය එළඹ ඇත.

අප සම්ප‍්‍රදායික ආහාර සංස්කෘතිය බුදු දහමින් පෝෂණය වූ සශී‍්‍රක සමාජයක සිතුම් පැතුම් පිළිබිඹු කරයි. දිව පිනවීම පමණක් නො ව, සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවිත යාත‍්‍රාව ගෙන යාම ද දේශීය ආහාර සංස්කෘතියේ ප‍්‍රධාන පරමාර්ථ විය. ආහාරය ඖෂධයක් ම විය.

 

‘‘නේ ව දවාය න මදාය න මණ්ඩනාය න විභුසනාය, යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසුපරතියා බ‍්‍රහ්මචරියානුග්ගහාය – ඉති පුරාණඤ්ච වේදනං පටිහංඛාමි නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමි, යාත‍්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච ඵාසු විහාරෝචා’ති..”

‘‘මේ ආහාර ගන්නේ ජවය පිණිස නො වේ; මත් වීම පිණිස නො වේ; ඇඟපත සැරසීමට නො වේ; අඩු තැන් පුරවා ගැනීමට නො වේ; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. වෙහෙස සන්සිඳවාගන්න විතරයි. බඹසර ජීවිතයට රුකුල් දීම පිණිස විතරයි. මේ අයුරින් පැරණි බඩගිනි වේදනා මං බැහැර කරනවා. අලූතින් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිතය නිවැරදි ලෙස පහසුවෙන් පවත්වාගෙන යනවා.”
(ගණක මොග්ගල්ලාන සූත‍්‍රය – ම. නි.)

ඉහත දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආහාරය ගැන බැලිය යුතු ආකාරය පිළිවඳව භික්ෂූන් වහන්සේලාට වදාළ කරුණු ය. මෙම කරුණු දේශනා කරන ලද්දේ භික්ෂූන් වහන්සේලා සඳහාවන බැවින් අපට අදාළ වන්නේ කෙසේ දැයි කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් අපගේ දේශීය ආහාර සංස්කෘතියට මෙයින් ඇති කරන ලද බලපෑම ගැන ඔබ කෙතෙක් දුරට සිතා බලා ඇද්ද?

ඉහත සඳහන් කළ පරිදි බුදුරජාණන් වහන්සේ ආහාර සම්බන්්ධව වදාළ කරුණු අප පාරම්පරික ජනතාව අදාළ කරගත්තේ නැති ද? එසේ අදාළ කරගැනීම ඔවුන්ගේ හිත සුව පිණිස පැවතියේ නැති ද? මා මේ දෙය යළි යළි මතකයට නංවනුයේ අපගේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත් ම අංගය ඔබගේ අවධානයට යොමු කරදීමට ය. එනම් ‘මේ ආහාර ගන්නේ ජවය පිණිස නො වේ; මත් වීම පිණිස නො වේ; ඇඟපත සැරසීමට නො වේ; අඩු තැන් පුරවා ගැනීමට නො වේ; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි.’

පෝෂණය මනුෂ්‍යයාට වැදගත් වන්නේ එමඟින් ශරීර වර්ධනයට සහ නීරෝගීකම පවත්වාගෙන යාමට පිටුවහලක් වන බැවිනි. අතීතයේදී පෝෂණය සඳහා ආහාර අනුභව කළේ ශරීර වර්ධනයට හා නඩත්තුවට අවශ්‍ය පෝෂක ලබා ගැනීමට මෙන්ම ඉදිරියේදී විය හැකි රෝග ව්‍යාධි වලින් ආරක්ෂා වීමට නිවාරකයක් ද ලෙසය. වර්තමානයේ පෝෂණය කොතරම් දුර්වල තත්වයකට වැටී ඇත්ද යතොත් වර්තමාන ශ්‍රී ලාංකිකයන්ගෙන් 15% පමණ දියවැඩියාවෙන්ද, ඊට වැඩි ප්‍රතිශතයක් හෘද රෝගයෙන්ද, දරුවන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් නීරක්තියෙන්ද, ඊටත් වැඩි ප්‍රමාණයක් දුෂ්පෝෂණයෙන් සහ මන්දපෝෂණයෙන් ද පෙළේ.

මේ සියල්ලන්ටම ප්‍රධාන හේතුව වනුයේ අප අද ගන්නා ආහාර වේල්වල පෝෂක අසමතුලිතතාවයත් වැඩි ප්‍රමාණයක් සංස්ලේෂිත හෝ කෘත්‍රිම රස කාරක ආදියෙන් දූෂණය වී තිබීමත්ය. මෙයට තවත් හේතුවක් නම් ස්වාභාවික ආහාර වෙනුවට අද වෙළඳපලේ ඇති කෘතිම ආහාරවල භාවිතය නගරබද ජනතාව අතර පමණක් නොව ගම්බද ජනතාව අතරද ප්‍රචලිත වීමයි.

 

අතීතයේදී අපගේ පැරණි ආහාර වට්ටෝරු සහ ආහාර සම්ප්‍රධා මත යැපුණ ශ්‍රී ලාංකිකයන් අතර අද සමාජයේ දක්නට ලැබෙන ලෙඩ රෝග බොහොමයක් ඈත්ව තිබිණි. එවැනි රෝගයන් තිබුණද ඒවා තමන්ගේ ආහාර මගින් සහ දෛනික ක්‍රියාකාරකම් මගින් ස්වාභාවයෙන්ම පාලනය කරගන්නා නමුත් එදා ප්‍රධාන ආහාරය වූ බත යමකුට අවශ්‍ය ශක්තිය සැපයූ අතර ඊට එක්කල මැල්ලුම, ඇඹුල, මාළුව ආදියෙන් අනෙකුත් පෝෂක ලබාගති. පලා වර්ග මගින් ශරීරයට අවශ්‍ය විටමින් පමණක් නොව ආර වර්ගයේ නීරෝගීභාවය පවත්වාගෙන යාමට අවශ්‍ය තන්තුද සපයනු ලැබීය.

මේද ද්‍රාව්‍ය විටමින වන විටමින් ඒ සහ ච් ලැබූ ප්‍රධාන මාර්ගය පොල්තෙල් වේ. එහෙත් කොලෙස්ට්‍රෝල් හෝ හෘද රෝග ඇසීමට ලැබුණේ කලාතුරකිනි. ප්‍රෝටීන සැපයූයේ ආහාරයට එක් කළ කොළ මැල්ලුම හෝ රනිල ඇට බෝග මගිනි. (පරිප්පු, කවුපි, මුං, කුළු) වැනි ධාන්‍යයි. සත්වමාංශ පරිභෝජනය ඉතා පහළ මට්ටමක පැවතුණු අතර අවශ්‍ය අවස්ථාවලදී බිත්තර, වැව්මාළු හෝ කරවල හෝ ඉඳහිට මුහුදු මාළු මගින් සපිරුණි.

වර්තමානයේ අවුරුදු 40 කට වැඩි වන විට ගැහැනු අයගෙන් 35% කට අස්ථ ජීද්‍ර නොහොත් අස්ථි දිරායාමේ රෝගය ඇතිවන බවට අපට උදේ හවස විද්්‍යුත් මාධ්‍ය මගින් සවනට වැකේ. ඒ සඳහා විශේෂයෙන් සකස් කළ කිරි ආහාරයට ගැනීම සඳහා නිර්දේශ කරයි. මෙම ආදේශක ඉතා ඉහළ මිලැති ප්‍රතිකර්ම වන අතර සාමාන්‍ය ජනයාට මෙය දැරිය හැකිද? මේ ආදේශක එම අස්ථි දුව¢ල තත්වයනට එකම ප්‍රතිකර්මයද? මෙවැනි රෝගී තත්වයන්ට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දෛනික ආහාර වේල්වල ඇති කැල්සියම් ඌනතාවයයි. ග්‍රාමීය ජනතාවට ඉතා අඩු මුදලකින් මෙකී කැල්සියම් ඌනතාව මඟහරවා ගැනීමට ක්‍රමවේද අප සාම්ප්‍රදායික ආහාර වේල් තුළ තිබීම නිසා අතීතයේදී මෙවැනි රෝගී තත්වයන් අප අසා නැත.

අස්ථි වර්ධනයට සහ අස්ථි ශක්තිමත් කිරීමට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකි හොඳම මාර්ගය කිරි බව ආහාර විශේෂඥයෝ ද වෛද්‍යවරු ද පුන පුනා දේශනා කරති. කිරි වලට අමතරව ග්‍රාමීය ආහාර වේලකට ඇතුළත් කළ හැකි කැල්සියම් අධික ආහාර අතර ගෙවත්තෙන්ම සපයාගත හැකි කතුරුමුරුංගා, මඤ්ඤොක්කා කොළද වේ. මීට අමතරව දේශීයව ලබාගත හැකි වෙළෙඳපොළේ සුලබ පලා වර්ග සහ එළවළු වර්ග වලින් ද හාල්මැස්සන් වැනි දෑ මගින්ද කෙනකුගේ දෛනික කැල්සියම් ප්‍රමාණය උපයා ගත හැකි. එබැවින් කිරී බීමට අවශ්‍යමදැයි ප්‍රශ්නයක් පැනනගී.

නැවුම් කිරි පෝෂණයට යෝග්‍යම සම්පූර්ණ ස්වාභාවික ආහාරයකි. ගැටලුව වන්නේ අප අතරින් කී දෙනෙක් නැවුම් කිරි වීදුරුවක් දිනකට පානය කරන්නේද යන්නයි. දේශීය කිරි අවශ්‍යතාවෙන් 80% කට වැඩි ප්‍රමාණයක් පිටිකිරි සහ අනෙකුත් නිෂ්පාදන වශයෙන් ගෙන්වන අතර මේ සඳහා රුපියල් බිලියන 14 කට ආසන්න විදේශීය විනිමයක් පිටරටට ඇදී යයි.

අධික මුදලක් ගෙවා මිලදී ගන්නා ආනයනික කිරි පැකැට්ටුවකින් තේ කෝප්පයකට එක් කරන්නේ තේ හැඳි 1 ක් හෝ 2 කි. එසේ නම් මේ තේ කෝප්පය සුදු කිරීමට විනා කිරිවල නියම පෝෂණ ගුණය ලබා ගැනීම සඳහා කරනු ලබන පානයක් නොවේ. මෙවන් කිරි කෝප්පයක් බීමෙන් කිරි බීවා යැයි තෘප්තිමත් විය හැකිද? කිරි කෝප්පයකින් ලැබෙන පෝෂණය ලැබේද? ඇත්ත වශයෙන්ම මෙය මුදල් ගෙවා කරනු ලබන නිෂ්ඵල ක්‍රියාවකි.

සමබල පෝෂණයක් ලබා ගැනීමටත් ළමයින් අතර නීරක්තිය, දුෂ්පෝෂණය සහ මන්දපෝෂණය නැති කිරීමටත්, දේශීයව අප සතු ආහාර අන් කිසිම රටක ඇතිදැයි සැක සහිතය. අප දන්නා ශතවර්ෂ ගණනක කාලයක පටන් කිසිම ශ්‍රී ලාංකිකයෙකු බඩගින්නේ මියැදුණේ නැත. අප අපට පමණක් ආහාර නිපද වූ නො පිටරැටියන්ට පවා ආහාර නිපද වූ ජාතියකි.

මෑත ඉතිහාසයේ අප විසින් හුරු කරන ලද බත් සහ තිරිඟු පිටි අපගේ ප්‍රධාන ශක්ති ප්‍රභව වී ඇත. මීට අමතරව අතීතයේ ශක්තිජනක ආහාර ලෙස දේශීයව නිපද වූ වස විසෙන් තොර විවිධ ආහාර වර්ග භාවිතා කරනු ලැබීය. මේ අතර බඩ ඉරිඟු, ඉදල් ඉරිඟු, මෙනේරි, කුරක්කන්, තණහාල් ආදී ධාන්‍ය වර්ගද කොස්, දෙල්, බතල, කිඩාරන්, මඤ්ඤොක්කා, ගහල අල මෙන්ම වැල් අල වර්ගද ඕළු ඇට, නෙළුම් අලද විය.

 

මේවා පිෂ්ඨය පමණක් නොව ආහර තන්තුවලින් ද ගහණය. එබැවින් මේ ආහාර ගැනීමෙන් තිරිඟු පිටි වැනි පිෂ්ඨය අධික ආහාර වලට වඩා වෙනස් ජීර්ණ රටාවක් සිදුවන බැවින් ස්වාභාවිකවම රුධිර ග්ලුකෝස් මට්ටම පාලනය වන අතරම දියවැඩියාව පිළිබඳ අනතුරු අඩුවේ.

වර්තමාන භෝජන රටාවේ පලාවර්ග වල දායකත්වය ඉතා අල්පය. පැරැණි ආහාර වේලේ පලා මැල්ලුමක් හෝ පලා යෙදූ සම්බෝලයක් වරදින්නේ නැත.

 

මේ අතර දේශීය පලා වර්ග වන අඟුණ කොළ, ගොටුකොළ, මුඟුණුවැන්න, මඤ්ඤොක්කා කොළ, කිරි අඟුණ, කතුරු මුරුංගා, මුරුංගා කෝවක්කා ආදිය ගත හැක. මේවායින් වැඩි දායකත්වයක් ලැබෙන්නේ ජලයේ ද්‍රාව්‍ය විටමින් වලිනි. කොළ මැල්ලුමට අමතරව බොහෝ පලා වර්ග තෙම්පරාදුවක් හෝ ව්‍යංජනයක් ලෙස ද භාවිතා කළ හැක. මේවා සමහරක්

 

පෝෂණයට මෙන් ම ඖෂධ වශයෙන් ද භාවිතා කරයි. මේ අතර තෝර කොළ, ඇත්තෝර දළු, එරබදු දළු ආහාර මාර්ගයේ පණුවන් සඳහා ප්‍රත්‍යක්‍ෂ වේ’ යෞවනය ආරක්‍ෂා කර ගැනීම සඳහා විවිධ මාධ්‍ය හරහා පෝෂණ වේදීන් සහ වෛද්‍යවරු විටමින් ඡ්වල අවශ්‍යතාවය පෙන්වා දේ. ස්වභාවිකව වැඩෙන කොළපැහැ පලා වර්ග, විටමින්ඡ්සඳහා යෝග්‍ය ප්‍රභවයකි.

විවිධ මාංශ වර්ග සහ මාංශ වලින් සැකසූ ආහාර පසුපස දිවයන නාගරික සමාජයේ රෝගය දැන් දැන් ග්‍රාමීය මට්ටම කරාද ආසාදනය වෙමින් පවති. මෙය සැබැවින් ම මාධ්‍ය හරහා ඇති කරනු ලැබූ ප්‍රචාරක වැඩසටහන් වල ප්‍රතිඵලයකි. කෙසේ නමුත් කෙනකුට අවශ්‍ය දෛනික ප්‍රෝටීන් ප්‍රමාණය ස්වභාවික ආහාර වේලකට ඇති කළ හැකි මාර්ග කිහිපයකි. මෙය හුදෙක් මුං ඇට, කවුපි, කඩල, කොල්ලු යන ඇට වර්ග වලින් ද වැව් මාළු, මූදු මාළු සහ කරවල වලින් ද කිරි බිත්තර වලින් ද ලබා ගත හැක. රනිල ඇට වර්ග ප්‍රෝටීන් සඳහා ඉහළම ගුණත්වයක් පෙන්වන අතර රුචිය ලෙස මේවා පිළියෙල කළ හැක.

බදුල්ල ප්‍රදේශයේ තරාතිරමකින් තොරව ඕනෑම උත්සවයකට පිළියෙල කරනු ලබන කොල්ලු මාළුව ප්‍රෝටීන්වලින් ඉතා පොහොසත් වන අතර රසයෙන් කිසිම ව්‍යංජනයකට දෙවෙනි නොවේ. දේශීය වැව් මාළු, මූදු මාළු වලට වඩා රසයෙන් හා ගුණයෙන් අනූන බව සිංහල වෛද්‍ය ශාස්ත්‍රයේ මතයයි. එබැවින් දේශීය ආහාර වේලට මෙය එක් කිරීමෙන් ආහාරයේ රසය මෙන් ම ගුණය ද පෝෂණය වේ. මුං ඇට වැනි ධාන්‍ය බීජ පොඟවා පැළ කර පිසීමෙන් එහි රසය මෙන් ම පෝෂණ ගුණය ද වැඩි වේ. මෙසේ ප්‍රරෝහණ කළ පසු බීජ වල විටමින් ඡ් ප්‍රමාණය ප්‍රරෝහණය නොකළ නජ වලට වඩා කිහිප ගුණයකින් වැඩිය.

අපගේ ආහාරය දී කිරි සමඟ ආහාරයට ගැනීම ඈත අතීතයේ පටන් පැවතගෙන එන පුරුද්දකි. දී කිරි බතට එකතු කර ගැනීමෙන් එහි ගුණාත්මය මෙන් ම රසය ද වැඩිවේ. එසේ ම එය ආහාර දිරවීම සඳහා මහෝපකාරී වේ. දේශීය පස්ගෝ රසයෙහි වටිනා ම සංරචකය නම් ගිතෙල් වේ. සම්ප්‍රදායික ආහාර වේලෙහි ගිතෙල් රජමුසුවක් සේ සැලකේ. රොබට් නොක්ස්ට අනුව සිංහලයාගේ ආහාර වේලට ගිතෙල් නැතිවම බැරි සංඝටනයක් වුවත් එහි මිල අධික නිසා එය බුක්තිවිඳීය හැක්කේ සමාජයේ උසස් පැලැන්තියේ අයට පමණි. පහළ ආදායම් ලාභීන් ගිතෙල් මිශ්‍ර ආහාර පරිභෝජනය කළේ විශේෂ ආහාර වේලක් පිළියෙල කිරීමේදී පමණි.

 

හීලට නැතහොත් උදයට කැඳ විශේෂයෙන් කොළකැඳ තරම් අගනා ආහාරයක් මිහිපිට නැති තරම්ය. මෙය දේශීය පෝෂණ වේදීන් සහ ආයුර්වේදඥයින් මොනවට පැහැදිලි කර ඇත. ලෙඩට රෝගයට විවිධ කැඳ වර්ග දේශීය සූප වේදය තුළ තිබූ අතර ආහාර වල පෝෂණ ගුණය සහ කායික රෝග වලින් ආරක්ෂා වීමට කොළ මිශ්‍ර කැඳ වර්ග එදා පටන් අප සූප ශාස්ත්‍රය තුළ විය. අදත් කොළකැඳ වලට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ සඳහා ගොටුකොළ, කරපිංචා, මුකුණුවැන්න, වැල්පෙනෙල, බටුකොළ ආදිය ප්‍රචලිතව යොදා ගනී. අතීත සිංහලයන් අතර යෝධයන් බිහි කිරීමට මෙකී කොළ කැඳ ශක්තිය දුනි.

ආහාරයකට පසු අතුරුපසක් ලෙස පලතුරක් යොදා ගැනීම අපගේ සාම්ප්‍රදායික ආහාර පරිභෝජන රටාවේ තවත් අංගයකි. ලංකාව විවිධ පලතුරු වලින් පිරි දේශයකි. මෙරට කෙසෙල් වර්ග පමණක් විශාල ප්‍රමාණයක් ඇත. මේවා විවිධ පුද්ගලයන්ගේ විවිධ ශරීර සෞඛ්‍ය මට්ටම් වලට අනුකූලව ආහාරයට ගත හැක. (දිය වැඩියාව, සෙම් රෝග) මීට අමතරව රසවත් පලතුරු අතර වරකා, අන්නාසි, අඹ, දිවුල්, පේර, දොඩම්, අනෝදා, ජම්බෝල සහ නාරං වර්ග ද සාම්ප්‍රදායික පලතුරු අතර පළු, වීර, වෙරළු, මොර, කෝන්, හිඹුටු, දං, ගල් සියඹලා ආදිය ද වේ.

මේසා පරාසයක පලතුරු ඇති රටක අතිශය විදේශ විනිමයක් වැය කරමින් ඇපල්, පෙයාස්, දොඩම්, නාරං, මිදි වැනි පලතුරු වර්ග ලංකාවට ගෙනේ. මේවාට යොදනු ලබන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ මේවායේ කෘත්‍රීම බව දන්නේ නම් අනුභව පසෙකලා ස්පර්ශ කරන්නේවත් නැත. ලෝකයේ ඒක පුද්ගල සීනි පරිභෝජනය අතින් බලන කල අප සිටින්නේ ඉතා උච්ච ස්ථානයකය. අප පරිභෝජනය කරනු ලබන සීනි ඍජුව තේ පානය සඳහා ද වක්‍ර ව අනෙකුත් රස කැවිලි සහ අතුරුපස හරහා ද ශරීර ගත වේ.

ලංකාවේ ඉහළ ප්‍රතිශතයක දියවැඩියා රෝගීන් හට ඒ සඳහා වැඩි දායකත්වයක් දක්වා ඇත්තේ මෙකී ඉහළ සීනි පරිභෝජනය නිසාය. සීනි වෙනුවට හකුරු කැබැල්ලකින් තේ කෝප්පයක රසය මනාව විඳ ගත හැක. එසේම අතුරුපස සහ සුළු ආහාර වෙනුවට කිතුල් කුරක්කන්, උඳු, සහල්, හාල්පිටි සහ පොල් හෝ කිතුල් පැණි යොදා සාදා ගනු ලබන අග්ගලා, හැලප, කැවුම්, අතිරස, ලැවරියා වැනි දේ මේවාට ඇති සීනි අධික බටහිර ආදේශක වලට වඩා සෞඛ්‍යජනකය.

තේ, කෝපි පානය සෞඛ්‍යයට හිත කර බව නවීන විද්‍යා මතය වේ. එනමුත් පොල්පලා, රණවරා, ඉරමුසු, බෙලිමල්, නීරමුල්ලි වැනි ස්වාභාවික පානවර්ග ඊටත් වඩා රසයෙන් ද ගුණයෙන් ද වැඩිය. මේවාට විශාල ඉල්ලුමක් ඇති අතර පිටරටවල පවා මෙකී පානවර්ග ජනපි‍්‍රය වී ඇත. සීනි යෙදූ කෘත්‍රීම වර්ණකාරක සහ රසකාරක එක්කල පලතුරු බීම වලට වඩා ස්වභාවික අඹ, අන්නාසි, දෙහි, දොඩම්, නාරං, අනෝදා වැනි හොඳින් ඉදුණු පලතුරු වලින් ලබා ගන්නා පලතුරු බීම සීනි රහිතව භාවිතා කළ හැකි අතර ගුණ දායක වේ.

අපගේ උදය ආහාරයට විවිධ හේතූන් නිදහසට කරුණු ලෙස හුවා දක්වමින් තිරිඟු පිටි ආශි‍්‍රත උදේ ආහාර නැතහොත් කඩයප්පන් වලට මාරු වී ඇත. මෙය පාන් ඇතුළු විවිධාකාරයේ සැකසුම් මගින් දායක වේ. මේ සැමටම වැඩියෙන් හාල් පිටියෙන් හෝ කුරහන් පිටි සමඟ මිශ්‍ර කර සෑදූ දේශීය කඩයප්පන් වන ආප්ප, පිට්ටු සහ රොටී ආහාර වේලකින් උදේ සප්පායම් වූ විට

 

ප්‍රණීතවත්ව දවස ගත කළ හැක.

අප අපගේ ස්වාභාවික ආහාර වලින් කෙතරම් දුරට අපගමනය වී ඇත්දැයි දැන් අපටම වැටහෙනු ඇත. අප අත්විඳින දුෂ්පෝෂණය ආහාර සහ පරිභෝජන රටා මඟින් අප වෙත ඇති කර ඇති වර්තමාන ලෙඩ රෝග සියල්ලන්ටම අප අප විසින්ම වැරැදිකරුවන් කර ගත යුතුය. අප තාමත් ප්‍රමාද නැත. හැකිනම් අපගේ පැරණි සූපශාස්ත්‍රයේ ඇතුළත් වූ කැඳ, දියබත, තැම්බුම, තෙම්පරාදුව, ආනම, බැදුම, මාළුව, ව්‍යංජනය, ඇඹුල, කායම, මිරිස් හොද්ද, ඇට හොද්ද, හත් මාළුව ආදිය දෙස හැරී බැලීමට කාලය පැමිණ ඇත.

නිසි ආකාරයට දේශීය ස්වාභාවික සමබල ආහාර වේලක් ගත හැකි නම් නැවත යෝධයන් බිහි නොකළත් නිරෝගි සම්පන්න ජාතියක් බිහි කළ හැකි අතර සෞඛ්‍යයට හානිකර හා ව්‍යාජ ආදේශක වලින් තොර රටක් ජනතාවක් බිහිකළ හැක. මේ සඳහා ආදේශක ආහාර සහ සකස් කළ ආහාර වෙනුවෙන් ඒවා නිපදවන සහ ප්‍රචලිත කරවන පෞද්ගලික සමාගම්වල ප්‍රචාරක වැඩසටහන් වලට වඩා වැඩියෙන් රජය විසින් දේශීය ස්වභාවික ආහාර වර්ග සහ ආහාර චර්යා පිළිබඳව සෑම මාධ්‍යයක් හරහාම ජනතාව දැනුම්වත් කළ යුතුය. මෙය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයේ ද පරම වගකීමකි. මේ සියල්ලන්ටම වැඩියෙන් මේ පිළිබඳව වැදි බණ සහ මූසා දොඩන පෝෂණවේදීන් සහ වෛද්‍යවරුන් දැනුම්වත් කළ යුතුය.

www.helawedarala.lk

Leave a Comment

(0 Comments)

Your email address will not be published. Required fields are marked *